හිත්මංසල.....

විඩාබර වූ හදට විවේකී නැවතුමක්....!!

About this blog

මගෙ හිතේ වර්ණයෙන් හැඩකල මේ කවි සිත්තම....ඔබටයි...විඳින්නට...

Pages

අපේක්ෂා....!!




තනුවක් වුණේ කුමටද
අරුත් සුන් පද පෙළකට
කවියක් වෙන්න පැහැසර
දිවියේ අරුත පහදන....

මැලැවුණු කුසුම් කුමටද
මියැදෙන ඉපල් හිසකට
කැකුළක් වන්න පිණිබර
ලොවම සුවඳින් සනහන....

මහ සයුරක්ව කුමටද
පවසට සිසිල නොමදෙන
ගලනු නදියක් වී දිග
හදෙහි මිණි කැට සැඟැවුණ

සඳ මඬලක්ව කුමටද
එක ලෙස සදා නොදිලෙන
තරුවක් වෙන්න ගගනත
අවපස දිනෙක දිදුලන.....

පැහැයක් වෙලා කුමටද
සිතුවමක නොපෙනෙන
තෙළිතුඩක් වනු මැන
හද සිත්තමක් සරහන.....


හැඟුමක් වෙලා කුමටද
ලතෙත් බව නැති හදකට
පැතුමක් වෙන්න නොබිඳෙන
අහිංසක හිතකට......


ක්ෂිතිජය වෙලා කුමටද
නෞකාව තව වෙහෙසන
පහන්ටැඹ වනු මැන
මංමුලා වූ හදකට.....

කඳුලක් වෙලා කුමටද
හසරැළි නොදුටු නෙතකට
ලොව දෙස බලන් නෙතු හැර
හිනැහී කඳුළු පිසගෙන.......


4 දෙනෙක් අදහස් දක්වලා...:

සොදුරුයි එරන්ගා... බ්ලොග්කරනයට ආදරයෙන් පිලිගන්නවා... දිගටම ලියන්න..

සුළගක් වෙලා කුමට
ලැව්ගිණි අවුලවා යන
සිසිල් මද පවන වෙන්න
ගිමන නිවා සනසවාලන..

මහ වැස්සක් වී කුමට
මහ පොළොවම සොදාගෙන යන්න
පොද වැස්ස වී වසින්න
ඉරි තැලුනු බිම් සරුසාර වන්නට.

 

ස්තූතියි අසන්ත අයියේ...පිලිගැනීමට ස්තූතියි..
දිගටම ලියන්න තමයි බලාපොරොත්තුව..:))

 

වෙලාවක් ලැබුනෙ දැන් එරන්ගා. පටන්ගැන්ම අපුරු විරහා පද වැලක් සේ පෙනේ. විරහාව නරක දෙයක් නොවේ. එය මිනිසෙක් විඳිය යුතුමය. විරහාවෙන් විඳින විප්‍රලම්බ සෘංගාරය ගැන ඔබ අහලා ඇතුවාට කිසිදු සැකයක් නෑ... විඳින්න එය...අපත් විඳින්නම්... මට මගේ අතීතෙට යන්න පුළුවන් මේ පද වැලෙන්... මට ඉස්සෙල්ලාම 'පෙම්' ලිපියක් ලැබුනේ කෙල්ලෙකුගෙන්... ඇය ලියා තිබුනා 'ඇගේ ප්‍රේමය මහවැලි ගඟ වගේ'' කියලා...

((ඒක ඇත්ත... අපේ වත්ත මායිමේ තිබුනෙත් මහවැලි ගඟ... ඒක ඒ කාලේ හොඳටම හිදෙනවා අගෝස්තුවේදී... මැයි මාසේ ගංවතුර ගලනවා...මුළු කඳුකරයේම තියෙන කුණු ඒකට හෝදගෙන එනවා... පවිත්‍ර නෑ. එක එක්කෙනාට පුළු පුළුවන් හැටියට ගඟ දැන් හතර අතේ හරවනවා...))

ලියුම ලියලා මාස තුනකට පස්සේ ඒ කෙල්ල මෙන්න වෙන පැත්තකට හැරිලා... මං ඉතිං මේ වගේ කවි සිතුවිලි අතර අතරමං වෙලා ඔහේ හිටියා.... දිගටම ලියන්න ... මට මාව මතක් වෙයි....

 

කදුළක් නොවී කිසිදින
පියුමක් වෙලා හිනහෙන්න
සිසිස්ලක වෙලා හිතවට
ගෙත්තමින් සරසන්න....
පහනක් වෙලා ඔබ
දැයට ආලෝකය වෙන්න
වෙදදුරු වෙලා ඔබ
මවි රටට යළි එන්න....
කොහොමද නැගණිය කියන්නෙ යමක්..
ඔබෙ කවියෙන් අතරම්ංවූ සද...
සොයාගන්න අවැසියි දැන්..
අප අපවම ..
හදවතින්ම සුබපතන්නම් එරන්ගා ඔබට

 

Post a Comment