හිත්මංසල.....

විඩාබර වූ හදට විවේකී නැවතුමක්....!!

About this blog

මගෙ හිතේ වර්ණයෙන් හැඩකල මේ කවි සිත්තම....ඔබටයි...විඳින්නට...

Pages





මේ අහස යට......




මල් සුවඳක් මටත් දෙන්න....





බලා හිඳිමි මම.....





සදහටම නිහඬ වූ ඉලන්දාරියා වෙනුවෙන්......



දවසේ මුල්ම වතාවට මුහුනු පොතට ආවම දැනගන්න ලැබුනේ හදවත කම්පා කරන පුවතක්..''ඉලන්දාරියා'' හෙවත් දිලුම් සොයුරා හදිස්සියේම අපි අතරින් සමුගෙන ගොසින් ඇති බව..කිසිදිනෙකවත් කතාබහ කරන්නට තරම් ඔබ සමග මා වාසනාවන්ත වී නැතද..ඔබේ නිර්මාණ හමුවෙහි මා ඔබේ හිත සියදහස් වාරයක් අසා ඇත්තෙමි..මෙවන් අකල් මරණයක් කිසිදිනෙක යළි නොවේවා සොයුර..ඔබට නිවන් සුව ලැබේවා....!!!  
  

කිසිදාක නොමදුටුව
එකිනෙකා නෙත නොගැටි
හඬ පවා නොහඳුනන
නමුදු හදවත් දනිති
නුඹෙ වදන් පසුපසෙහි
විස්මයෙන් හඹා ගිය
මමද එක මිතුරියකි
හදිසියෙන් ඔබ වෙන්ව
ගියෙන් හදවත හඬන

සිය දහස් වාරයක්
අකුරු තුළ දුටු නුඹේ
හඬ මවාගෙන හිතින්
පතමි සොහොයුර ඉතින්
නිවන් සුව ලැබේවා
නුඹට සැනසුම දෙමින්...

ආදරයට ආදරයෙන්....



 හදවතේ පෙති 
එකින් එක සිඳ
තැනූ මේ රතු 
රෝස මල් මිට
සිහිනයෙන් විත් 
ඔබේ පාමුල....
තබා යන්නෙමි
නැගෙනු පෙර හිර

ලියූ සහසක්
ප්‍රේම කවි වල
''ආදරය'' 
    මිරිකලා කැටිකොට...
නුඹට තිළිණය
ලෙසින් දෙන්නෙමි

පුදන්නට වෙන
     හදක් වෙත හෙට.....



පුදුමයකි නුඹ....





නුඹේ හිත් අහසට
එබීගෙන...
මහමෙරක් විලසින්
මා නුඹ දකින කල
නුඹට මම..
පා ගැටුණු එක
දුහුවිල්ලක් තරම් වත්
නොපෙනෙනා හැටි
අදහාගන්නටත්
පුදුමය.....


සොඳුරුතම හීනය......




හිරු නොමැති අහසේ
අළුපාට වළාකුළු
   හෙමි හෙමින් පාව යයි...
  පාළුවෙන් හිත පිරෙයි..
සියොතුන්ද නිදිබරව
   ඉගිල යයි නිහඬවම...
උදෑසන ගැයූ ගී
   අමතකව ගිය ලෙසින...
මලක සුවඳක් වගේ
  වදනකින් නොකියවෙන..
නාඳුනන හැඟුමකින්
හිතද උතුරා යන සඳ
    මේ සොඳුරු හීනයේ....
ගැඹුරුතම උණුසුමට
කිමිදෙන්නට මට හිතයි
   නෙතු පියන් නොහැරම...



අපේක්ෂා....!!




තනුවක් වුණේ කුමටද
අරුත් සුන් පද පෙළකට
කවියක් වෙන්න පැහැසර
දිවියේ අරුත පහදන....

මැලැවුණු කුසුම් කුමටද
මියැදෙන ඉපල් හිසකට
කැකුළක් වන්න පිණිබර
ලොවම සුවඳින් සනහන....

මහ සයුරක්ව කුමටද
පවසට සිසිල නොමදෙන
ගලනු නදියක් වී දිග
හදෙහි මිණි කැට සැඟැවුණ

සඳ මඬලක්ව කුමටද
එක ලෙස සදා නොදිලෙන
තරුවක් වෙන්න ගගනත
අවපස දිනෙක දිදුලන.....

පැහැයක් වෙලා කුමටද
සිතුවමක නොපෙනෙන
තෙළිතුඩක් වනු මැන
හද සිත්තමක් සරහන.....


හැඟුමක් වෙලා කුමටද
ලතෙත් බව නැති හදකට
පැතුමක් වෙන්න නොබිඳෙන
අහිංසක හිතකට......


ක්ෂිතිජය වෙලා කුමටද
නෞකාව තව වෙහෙසන
පහන්ටැඹ වනු මැන
මංමුලා වූ හදකට.....

කඳුලක් වෙලා කුමටද
හසරැළි නොදුටු නෙතකට
ලොව දෙස බලන් නෙතු හැර
හිනැහී කඳුළු පිසගෙන.......